Latest Entries »

මම ඔය දැන් සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ හිටියට ඉස්සර පුංචි කාලේ නම් හරි දඟ මල්ල! ගස් ගල් උඩයි, ජනෙල් පඩි උඩයි, අතන මෙතන නැගිල්ල තමා මගේ රාජකාරිය. (පණ්ඩිතයා වගේ නැග්ගට මොකද බැහැගන්න බෑ, අර පූසෝ වගේ 😀 ) කවුරුත් ලඟ පාතක නැත්තං ඉතිං මම නතර වෙන්නෙ කොහෙහරි උඩක නැගලා තමා.

මේ සිද්ධිය වෙනකොට මට මතක විදියට මම 6 පංතියේ වෙන්න ඕන. අපේ ගෙදෙට්ට අල්ලපු ගෙදර අක්කලා දෙන්නයි, අයියයි, මමයි නංගියි ඉස්කෝලෙ ඇරිලා ආව හැටියේ ඉන්නේ ඒ ගෙදර වත්තේ. වෙන මෙක හින්දාවත් නෙමෙයි, ඒ වත්තේ තියෙන ගඩාගෙඩි කන්න. (ඒ වත්ත තනිකර පළතුරු වත්තක්!) වෙරළු කියන්නේ ඒ කාලෙ ඉඳන්ම මගේ පෙරේතම කෑමක්. මේ වත්තෙත් මහ විසාල වෙරලු ගහක් තිබුනා. ගෙඩි වල තියෙන්නෙ පුදුම රහක්. ඒ මදිවට හෙන විසාලයි.

ඔය ගහ හැදිලා තිබුනේ පහල කුඹුරේ මායිමට වෙන්න වගේ. ඉතිං මේ වත්තයි කුඹුරයි වෙන් කරන්න කටු කම්බි වැටක් එහෙම ගහලා තමා තිබුනේ. බොහොම ඉස්සර ගහපු එකක් නිසා ඒක හොදටම දිරලා මළකඩ කාලා තමයි තිබුනෙත්.

එදාත් ඉතිං වෙරලු ගහේ ගෙඩි පිරිලා සුවඳේ බෑ. පෙරේත කමත් එන්න එන්නම වැඩි වෙනවා. අපි කට්ටියත් ඉතිං වෙනදා වගේ ගියා වත්තට වෙරලු කන්න හිතාගෙන. ගස් නගින්නත් පුරුදු නිසා පෙරේතකමත් තියෙන නිසා මමත් ඉතිං නැග්ගා ගහට. මායි අර අයියයි ගහ උඩ ඉඳන් පහල අයට ගෙඩි කඩලා දෙනවා. අපි දෙන්නත් ගහේ ඉඳන් ගෙඩි කනවා.

මේං එකපාරටම ඇහෙනවා අම්මා කතා කරනවා හෝම් වර්ක් කරන්න! මළා ජෝන් කොතලාවල නේද, අම්මා දැක්කොත් මමත් ඉන්නේ ගහ උඩ කියලා, හොඳවැයින් සබ්බුව හම්බුවෙන බව දන්න නිසා බැරිමරගාතෙම මම පැන්නෙ නැද්ද ගහෙන් බිමට! (කලිනුත් කිව්වනේ මම ගස් නැග්ගට බහින්න දන්නෑ කියලා) අනේ ඉතිං මගේ පූරුවේ පවක් පල දීලද කොහෙදෝ මාව ඇදං වැටුනේ අර මලකඩ කාපු කම්බි වැඩ උඩට. ඒත් චුට්ටක් විතර පිනක් තිබ්බ නිසා වැඩි තුවාලයක් නැතුව එක කටුවක් විතරක් ඇනුනා කකුලේ! දැන් ලේ වැක්කෙරෙනවා එක සීරුවට! අක්කලා දුවලා ගිහින් අම්මාව එහෙම එක්කරන් ඇවිත් තමා කම්බියෙන් මාව ගලවලා ගත්තේ. අම්මා බනී කියලා බයටයි, රිදෙන නිසයි මම මොර දිදී අඬනවා දැන් 🙂

අනේ ඉතිං අපේ අම්මත් ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වෙන්න හොඳ නැති හින්දද මංදා මට මුකුත් කිව්වෙ නෑ. හැබැයි ඉතින් එදායින් එදාත් හරි ආයේ ගස් නගිනවා තියා ගහක් ලඟ මම ඉන්නෙත් නැති ගානයි 😀

ඔය වෙච්චි අලකලංචියටයි, ගහපු ටෙටනස් තොගයයි නම් මට උදේ හවා දැනුත් මතක් වෙන්නෙ අර කටුකම්බිය ඇනිලා කකුලේ ඇතිවෙච්චි තුවාලේ කැළල දැක්කාමයි. ඒ කැළල නම් කවදාවත් මැකිලා යන පාටක් නෑ.

ඔන්න ඔහොමයි මගේ ගස් නැගිල්ල කෙළවර උනේ.

Advertisements

සංගා කිව්වාම අපි කොයි කාටත් නුපුරුදු නමක් නෙමෙයිනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ (හිටපු??) නායකයා. පෙරේදා හවස් වරුවේ අල්ලපු ඔෆිස් එකේ මිත්‍රයෙක් බොහොම කලබලෙන් මගේ ඔෆිස් එකට ගොඩ වැදුනේ “සංගා රිසයින් වෙලා නේද?” කියලා අහගෙන. මමත් ඒ ගැන එවෙලේ දැනන් උන්නෙ නැති නිසා මාත් පොඩ්ඩක් කලබල උනා. හොඳ වෙලාවට ඔෆිස් එකෙන් අතපය දිගඇරලා පාවිච්චි කරන්න ඉන්ටර්නෙට් දීලා තියෙන නිසා මමත් දඩබඩ ගාලා සයිට් දෙතුනක හොයලා බැලුවාම කතාව ඇත්ත. සංගා එක්දින හා 20-20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙලා. එයාම කියන විදියට 2015 ලෝක කුසලානයෙදි අලුත් නායකයෙකුට ඉඩ දෙන්න ඕනෙ නිසා එයා අස්වුනාලු.

අනේ මංදා, හිටි අඩියේ සංගා ගත්තු මේ තීරණේ නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි වගේ. එයා ගත්තු තීරණේ ඉක්මන් වැඩියි කියලත් හිතෙනවා. සංගා අයින් උනා කිව්වාම කාට කාටත් ඉතින් මතක් වෙන්නේ කවුද ඊලඟ නායකයා වෙන්න සුදුසු කියලා. ක්‍රියක් ගැන ලොකු දැනුමක් මට නැති උනත් ක්‍රීඩාවට ආදරේ කරන කෙනෙක් විදියට මට හිතෙන්නේ මේ තීරණේ ඉක්මන් වැඩියි කියලාමයි. නායකත්වයක වගකීම් සම්භාරයක් දරන්න පුලුවන් කෙනෙක් දැනට ටීම් එකේ නෑ කියලයි හිතෙන්නේ. ඩිල්ෂාන්, මාලිංග, තරංග වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හිටියට නායකයා සතු විය යුතු සියලුම ගුණාංග එයාලා ලඟ තියෙනවද? මාලිංග බොහෝම අනතුරු ගොඩකට මූණ දීලා යන්තම් ආපහු ටීම් එකට ඇවිත් වැඩි කාලයක් නෑ. අනික තරංගත් එයාගෙ තැන හදාගත්තේ වැඩි ඈතකදි නෙමෙයිනේ. ඩිල්ෂාන්ට නායකත්වය දුන්නොත් නායකත්වයේ වගකීම් එක්ක එයාට සුපුරුදු ආකාරයෙන් සෙල්ලම් කරන්න අමාරු වෙනවා සිකුරුයි. ඩිල්ෂාන්ගේ ප්‍රහාරාත්මක පිති හරඹය ලංකාවට අවශ්‍යයි කියලයි මගේ හැඟීම. අවුරුදු 19න් පහල නායකයා විදියට මැතිව්ස් ක්‍රීඩා කරලා තිබුනත් ජාත්‍යන්තර තරගාවලි වල ප්‍රවීණ ක්‍රීඩකයන් එක්ක කරට කර තරග කරන්න නායකත්වය දෙන්න ඔහු තවම ලාබාල වැඩියි කියලයි මට හිතෙන්නේ. අනිත් අතට සංගාගේ භාෂා හැසිරවීමට කිට්ටු කරන්න පුලුවන් කෙනෙක් නං වෙන ඇත්තෙම නෑ අපේ ටීම් එකේ.

2015 ලෝක කුසලානයට නායකත්වය දෙන්න උපරිම සුදුසුකම් සංගට තියෙද්දිත් මෙච්චර ඉක්මනින් නායකත්වයෙන් අයින් වෙන්න එයා ගත්ත තීරණේ නම් ලොකු පාඩුවක්. මම වගේම මේ රටේ ඉන්න ක්‍රිකට් වලට ආදරේ කරන බොහෝ දෙනාගේ අදහසත් ඒ වගේ වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඔබ මොකද හිතන්නෙ?

හලෝ, කොහොමද? මමත් බ්ලොග් අවකාසෙට අලුතින් එකතු වෙච්ච කෙනෙක්. මම කවුද කියන්න කලින් මම මෙතනට ආවෙ කොහොමද කියලා කියන්නම්.

සිංහල බ්ලොග් කියලා දෙයක් තියෙන බව දැක්කේ මගේ යාලුවෙක්ගේ බ්ලොග් එකකින්. මම ටිකක් කියවන්න හොර නිසා බ්ලොග් එකකට කියලා කියෙව්වෙ ඒ යාලුවගෙ බ්ලොග් එක විතරයි. දෙතුන් පාරක් කමෙන්ට් දාලත් ඇති. ඉතිං එයා මටත් බ්ලොග් ලියන්න කියලා නිතරම කිව්වත් මට ඒකට එච්චර ආසාවක් ඇති උනේ නෑ. මේ ලඟදි මම නිකමට වගේ කියවන්න හොඳ සිංහල බ්ලොග් ටිකක් කියන්න කියලා එයා මට දුන්නා ලස්සන බ්ලොග් ටිකක ලිපින ටිකක්. ඒ ලිපි කොච්චර ලස්සනද කිව්වොත් ඒවා කියවිල්ල අවසන් උනේ මමත් බ්ලොග් එකක් ලියනවා කියලා අධිෂ්ඨාන කරගෙනයි! මෙතෙක් කල් කියන්න කෙනෙක් නැතුව දිනපොතට විතරක් කියපු දේවල් ලෝකෙට කියන්න හොඳ ක්‍රමයක් කියලා හිතුනා මට මේ බ්ලොග් කලාව. බ්ලොග් එකේ නමටත් “සිතුවිලි රෑනකට තටු ඇවිත්” කියලා දැම්මෙ ඒකයි.

ඔන්න ඔහොමයි මම මේ බ්ලොග් කලාවට සැපත් උනේ!

මට ස්ටම්පි (Stumpy) කියන්න. මම බොහොම නිවීහැනහිල්ලේ තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්. එච්චර සමාජශීලී නැති වෙන්නත් පුලුවන්. මගේ ලොකුම විනෝදාංශය තමයි චිත්‍රපටි නැරඹීම. ඊට අමතරව මට උග්‍ර ක්‍රිකට් පිස්සුවක් තියෙනවා. (හිතාගත්තෑකිනේ මම පාව්ච්චි කරන කෙටි නමේ හේතුව!). ෆිල්මුයි ක්‍රිකටුයි තියේ නං දවස් ගාණක් වුනත් නොකා නොබී ඉඳිතෑකි!

දැනට මේ ඇති ආරම්භයක් විදියට. එහෙම නම් ඉදිරියටත් ලියන්න බලාපොරොත්තු වෙනවා. මගේ බ්ලොග් එක සමග ඉදිරියටත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.