හලෝ, කොහොමද? මමත් බ්ලොග් අවකාසෙට අලුතින් එකතු වෙච්ච කෙනෙක්. මම කවුද කියන්න කලින් මම මෙතනට ආවෙ කොහොමද කියලා කියන්නම්.

සිංහල බ්ලොග් කියලා දෙයක් තියෙන බව දැක්කේ මගේ යාලුවෙක්ගේ බ්ලොග් එකකින්. මම ටිකක් කියවන්න හොර නිසා බ්ලොග් එකකට කියලා කියෙව්වෙ ඒ යාලුවගෙ බ්ලොග් එක විතරයි. දෙතුන් පාරක් කමෙන්ට් දාලත් ඇති. ඉතිං එයා මටත් බ්ලොග් ලියන්න කියලා නිතරම කිව්වත් මට ඒකට එච්චර ආසාවක් ඇති උනේ නෑ. මේ ලඟදි මම නිකමට වගේ කියවන්න හොඳ සිංහල බ්ලොග් ටිකක් කියන්න කියලා එයා මට දුන්නා ලස්සන බ්ලොග් ටිකක ලිපින ටිකක්. ඒ ලිපි කොච්චර ලස්සනද කිව්වොත් ඒවා කියවිල්ල අවසන් උනේ මමත් බ්ලොග් එකක් ලියනවා කියලා අධිෂ්ඨාන කරගෙනයි! මෙතෙක් කල් කියන්න කෙනෙක් නැතුව දිනපොතට විතරක් කියපු දේවල් ලෝකෙට කියන්න හොඳ ක්‍රමයක් කියලා හිතුනා මට මේ බ්ලොග් කලාව. බ්ලොග් එකේ නමටත් “සිතුවිලි රෑනකට තටු ඇවිත්” කියලා දැම්මෙ ඒකයි.

ඔන්න ඔහොමයි මම මේ බ්ලොග් කලාවට සැපත් උනේ!

මට ස්ටම්පි (Stumpy) කියන්න. මම බොහොම නිවීහැනහිල්ලේ තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්. එච්චර සමාජශීලී නැති වෙන්නත් පුලුවන්. මගේ ලොකුම විනෝදාංශය තමයි චිත්‍රපටි නැරඹීම. ඊට අමතරව මට උග්‍ර ක්‍රිකට් පිස්සුවක් තියෙනවා. (හිතාගත්තෑකිනේ මම පාව්ච්චි කරන කෙටි නමේ හේතුව!). ෆිල්මුයි ක්‍රිකටුයි තියේ නං දවස් ගාණක් වුනත් නොකා නොබී ඉඳිතෑකි!

දැනට මේ ඇති ආරම්භයක් විදියට. එහෙම නම් ඉදිරියටත් ලියන්න බලාපොරොත්තු වෙනවා. මගේ බ්ලොග් එක සමග ඉදිරියටත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.